කුසේ හුලං රෝදෙට | පුරවන්නේ |
පිය තුම අද උදයෙත් | බඩගින්නේ |
පවුලේ මුළු බර පැඩලෙට | දෙන්නේ |
බයිසිකලෙන් ඔහු වැඩටයි | යන්නේ |
වලෙහි ගොඩෙහි රෝදය | කැරකෙන්නේ |
සමබර ලෙස යයි සමතල | තැන්නේ |
කඳු නැගලා පල්ලම්ද | බහින්නේ |
ජීවන රෝදෙද මෙලෙස | බැමෙන්නේ |
හති දමමින් පැඩලය | පාගන්නේ |
ඒ හුස්මයි අප හට පණ | දෙන්නේ |
දහදිය කැට සුළඟේ | පාවෙන්නේ |
ඒ සුවඳයි බත් ඇට මුසු | වෙන්නේ |
දිය කපනා සේ සුළං | කපන්නේ |
රතු ඉර පැඩලයෙ වේගෙ | හදන්නේ |
හැඩලයෙ බැදි පඩුරේ | බලයෙන්නේ |
නිවසට එන තුරු දෙවි | රැකදෙන්නේ |
පඩි දින එන තුරු ඇඟිලි | ගනින්නේ |
මසකට දවසක් සඳ | පායන්නේ |
පොඩි බඩු මල්ලක් හැඩලයෙ | ඉන්නේ |
ටොෆී දෙකක් මට නෑ | වරදින්නේ |
Saturday, May 28, 2016
බයිසිකලෙන් ඔහු වැඩටයි යන්නේ
Thursday, May 26, 2016
නෙතු රැවටුණු පුතේ
රතු පාටින් දිලිසෙන තරු අතරින් පුර | හඳ එනවා |
පිතු පැල්පත එළිපත්තේ හිඳ තවමත් | වැළපෙනවා |
නෙතු රැවටුණු දහසක් අතරේ මගෙ පුතු | නිදියනවා |
පුතු හින්දා දෙව්ලිය වූ, මම රෑ හීනෙට | වෙනවා |
පොළවෙත් මිණි අහිමි නිසා පුතු සිත දරදඩු | වූවා |
මුවහත් පිහියේ දාරය ආදර රුහිරය | නෑවා |
හිරබත් අවසන් වන දා මගෙ ලේ බිඳු මිණි | වේවා |
සිරිකත් මැදුරට වඩමා ඇගෙ ගෙල මණි | පළදාවා |
අජසත් කෙලෙසුන් පරදා නිවන් පුරෙහි | රජ වෙනවා |
සිරිමත් පුතු වෙලා එදා උබ මගෙ කුස | උපදිනවා |
සැරියුත් මහ සඟ ගිය මඟ මගේ පුතුට | එළිවෙනවා |
කිරිබත් දානය පුදලා උබේ මවුත් | සැනසෙනවා |
නීල තාරකා
නීල තාරකා පිපී පුරා නභේ
දූල සේලයෙන් වැසී සරා සඳේ //
මේ කුමුදු මල් පිපී
මා නුරා හද විලේ
කියන්න ඇයිද තව ප්‍රමාද පෙම්බරී
පෙම් හැඟුම් වෙලී -සඳ කැලුම් වසී
කලාපැණි එළී- සෙනෙහසින් දිලී
මායාව වී ඇගේ සෙනෙහෙ හදෙහී රැදී
නීල තාරකා පිපී පුරා නභේ...
ඈත සීත මාරුතේ හමාවී
ආදරේ මුහුව එහි තියේවී
සේල සේ තුෂාර විත් වෙලේවී
හාදු සේ මා දෙතොල් සිබීවී
මුළු ලෝම ආවත්-ඇය නාවෙ තාමත්
කාරණාව කා නිසාද පෙම්බරී
රූපි මා පෙම්බරී
පෙම් හැඟුම් වෙලී -සඳ කැලුම් වසී
කලාපැණි එලී - සෙනෙහසින් දිලී
මායාව වී ඇගේ සෙනෙහෙ හදෙහී රැදී
නීල තාරකා පිපී පුරා නභේ
වැහි වළා-එනු එපා
තාරකා-සැඟවෙනා //
මසිත පාරා සරා හී නොයන් පාවෙලා
මම් ඔබේ පෙම්බරා
නීල තාරකා පිපී පුරා නභේ..
Wednesday, May 25, 2016
මහවැසි
පොළවෙන් වතුර ඇද බිමටම අත | සෝදා |
අහසින් දෙරණ වෙත වෙයි කවදත් | බාදා |
කලකින් දිය නොදී රළු නියගය | සාදා |
සැණෙකින් විසුණු කළ අරුමය වැසි | ආදා |
දිනකර වැහිවළාවට නතු | වී යද්දී |
ගොරතර සුළඟ සමගිව මහ | වැසි එද්දී |
කඩදොර පන්සලේ පිළිමය | යට වෙද්දී |
ගගතෙර ඉතුරුණා මිහිමව | අඩවද්දී |
නායට දෙපළු වූ සාමස්සර | කන්දේ |
දෑහෙට කදුළු උතුරන මැසිවිලි | සද්දේ |
යායට ගිලුණ පැල්පත් මුදුනත් | මැද්දේ |
නාහෙට දුගඳ කුණු කඳු මුහුදට | ඇද්දේ |
සාගර ජලය ලුණුරස අරුමයක් | නොවේ |
සෝබර කඳුළු ගඟුලැලි මුහුදටම | පෙවේ |
ආදර හදැති මිහි දෙවිවරු මෙයට | තැවේ |
සාදර දෑත දෙයි, විත් පොදි බැදන් | නැවේ |
පොලයෙන් රටක ඉරණම දෙවි වෙත | පුදනා |
බලයෙන් රටවැසියො තව අසරණ | කරනා |
නිරිඳුන් වැඩවසන දෙරණට දුක | වඩනා |
මෘගසන් වැස්ස එන්නට අතැගිලි | ගණිනා |
ආදරී
ආදරී,හස රැලින් ඉකි ගැසූ සිත් වරා
දැන් අසන් ඒ දේව පායේ පන්සිළු ස්නේහ ගී //
මෙලෙක වූ වා වියෝගා තූ...හින සේ දියවෙලා
ප්‍රේම සිනා මුසු විල් හී හස යුවළ'පි සරනා//
විල්තී..රේ ඇසේවී පන්සිළු ස්නේහ ගී
ආදරී,හස රැලින් ඉකි ගැසූ සිත් වරා
දැන් අසන් ඒ දේව පායේ පන්සිළු ස්නේහ ගී
පායන් ආයෙ ආයේ සු..ප්‍රේමය නම් චන්ද්‍රයා
හර්ෂය දී නෙක වාරේ ආද..රේ වි..හිදා
අම්බ..රේ වයාවී පන්සිළු ස්නේහ ගී
ආදරී,හස රැලින් ඉකි ගැසූ සිත් වරා
දැන් අසන් ඒ දේව පායේ පන්සිළු ස්නේහ ගී //
Tuesday, May 17, 2016
වෙසක් සඳ
අව පසළොස්වක අටවක කලු බිඳ පුරසඳ පායා වෙසක් | දිනේ |
බෝ පත් අතරින් එළිය පෙරෙන තැන පැදුරක හිඳ වැලි මළුව | කොනේ |
පින්බර මුහුනැති අත්තම්මෙක් අද නවගුණ වැල ගණිනවා | පෙනේ |
පුර අව දෙපසම සඳට උරුම බව දැන් දැන් මට වැටහේය | අනේ |
පුන්සඳ තරු දස දහසක් මැඩගෙන එළිය කරන රඟ පොළෝ | තලේ |
මන්දාරම් වැහි වළාකුලක් විත් සැණෙකින් බිඳිනා අරුම | බලේ |
කම් පල විස්වාසය ගිලිහෙන ලොව අතලොස්සක් දෙන තරුණ | කැළේ |
රන් තුණු ජවය ද මරු ට යටත් බව තේරුම් ගෙන දහමටම | ඇලේ |
අමාවකට නුබුරන නරි කැළ ඇයි පසළොස්වක දා | බුරලන්නේ |
සක්දෙවි සලකුණු කල හා රූපය නැතිවද සතුනේ | දිරවන්නේ |
"සස දා" සැක සමහර වියතුන් වෙති බොදු බව පමණයි | උප්පැන්නේ |
සඳ මත මන්දිර තනනා සැලසුම් ඇති විදැදුරු සරණය | ගන්නේ |
සඳේ එළිය යට තොරණ ලෙළෙන විට සුරපුරයක සලකුණු | ඇත්තේ |
සඳට ඉහළ දෙව්පුරයක ඉපදෙන එවන් පිනක අරමුණ | මත්තේ |
පිළිවෙත ආමිසයෙන් පැරදුණු දා දහම දරයි අනියත | සත්තේ |
තෙමගුළ සමරන්නට සඳ ආවත් හෙට බොදු සව්වෙක් මෙහි | නැත්තේ |
වෙසක් කූඩුව
මද පවන හා මුසුව ගඟලියට ගී | ගයන |
තරහ අවසරය ගෙන, උණ පඳුර අසනු | මැන |
ලොව බැබළ වූ උතුම් එම දවස ළඟම | එන |
උණ කැබැල්ලක් දෙන්න කූඩුවට අපි | සදන |
බුදු වරුට ලොව අඳුර දුරලනා නැණ | පහන |
දල්වන්න පිදුවාලු ඔබත් සිහිලැල් | සෙවණ |
අනිමිසය නොකළාට මට පුදන උණය | ගෙන |
අට ලෝ දහම පෙනෙන අටපට්ටමක් | සදන |
නෙළුම් මල් කැකුළියනි ගඟ තුරුල්ලේ | නිදන |
ඉවසන්න ටිකක් තව උතුම් දින පිපෙනු | මැන |
නෙලන්නම් වෙසක් දා උදෑසන මම | පැමිණ |
බුදු රජිඳු වන්දන්න පුදසුනට යමි | රැගෙන |
පොහොය සඳ පින් පාට, සිටින මුව | තවරගෙන |
කුමුදු මල් උවැසියන් ගේ සුවඳ ,පඬුරු | ගෙන |
මුසු කරනු මැන ,සමඟ බැති ගීය උණ | වයන |
ගෙනෙ එන්න බුදු කුටිය වෙත හමන මුදු | පවන |
මද පවන සැඩ සුළඟ වී ගමට නොඑනු | මැන |
කූඩුවට අවුලුවා නොම දවනු මලණු | මන |
"ලොව නියත නැත" දහම කොහොම ගන්නෙද | හැඳින |
මල්ලියා තව පොඩියි,සිත අහිමි දුක | දරන |
සුනාමිය
ගී සර දිදී වෙනදා එන වෙරළ | සොයා |
සාගර ජලය ඈතින් ඈතටම | ගියා |
මේ වරයක්ය ,දෙවි දුන් ,නත්තලට | කියා |
ධීවර සෙනඟ සිතිජය අල්ලන්ට | ගියා |
අපරදිගින් විත් සුදු අය කරන | දගේ |
මධුර පාන ගෙන සමහරු පාන | රගේ |
සයුර ගෙන ගියා,දැන් දොම්නසය | නැගේ |
කවර අයද දැන සිටියේ, දවසෙ | වගේ |
නිසසල සයුර වෙත එක්කල නිසා | විස |
දළ රළ පෙළකි වෙනදා නැති පුදුම | උස |
බලතල වැඩි කරන් ඇවිදින් රකුසු | ලෙස |
සුල මුල සොයනු බැරි සේ පෙරලුවා | වෙස |
ලෑලි ගෙවල බිත්තිද වහලයද | කඩා |
පේළි පේළි ජීවිත කරමතට | වඩා |
පීලි අඹරවා ගෙන දුම්රියද | කුඩා |
සෝලි කළා සාගරයක්, නොමැති | විඩා |
වෙරළෙහි කිලිටි සෝදන්නට ආපු | මෙනි |
පෙරළෙයි මුහුද ඒ මේ අත | උමතුවෙනි |
මනසෙහි කසල සෝදනු බැහැ | සයුරකිනි |
“මිනියෙහි ඇඟිලි කපලා රන් මුදුව | ගනි |
වෙනදා වෙරළෙ මින් රළ ඇති සුසුම | බිදි |
හැරදා හුස්ම අද ධීවර සෙනඟ | නිදි |
පරදා කැලෑ නීතියෙ දුක සැවොම | විදි |
නිරිඳා සමඟ යදියත් එක වලට | වදි |
සිටු මාලිගා සහ පැල්පත් වෙරළ | දිග |
නටුවෙන් ගිලිහි මල් සේ පාවෙනා | රඟ |
පටු අදහස් ඇතිව ඇති නැති බේද | ළඟ |
ඉටු වෙන දෙයක් කෝ ?තේරෙනවාද | වග |
සොබා දහම අපගේ අංගයක් | කියා |
ඔබා ඇඟිලි එය වෙනසක් කරනු | ගියා |
හබා ඇවිත් දළ රළ පෙළ කඳුළ | තියා |
සොබා දහමෙ දරුවෝ ඔබ කියා | ගියා |
මව සහ මහණ පුතු
සුදු රෙද්දකින් සැරසී,පුතු වසන | තම |
පන්සල වෙතට අවුදින් වී පිනට | පෙම |
අල්ලා ඉදල් මිට දරදඩු අතට | සම |
බෝ පත් අතු ගගා පොල් අතු වනයි | බිම |
අම්මා ඇමදු සුදු වැලි ඇති ඒ | පාර |
සක්මන් කළා පොඩි නම බොහො බොහො | වාර |
"අම්මේ" කියා දී ඇගෙ කන වෙත | මීර |
දැම්මා මවගෙ පින් පැලයට හිමි | පෝර |
මහණ පුතු: | |
අම්මා හරිම මහලුයි වැඩපල | බැරිය |
ඉන්නේ ඔහොම,හින්දා හිත තුල | විරිය |
එන්නම් ,වෙලා හීරළු, අරගෙන | බිරිය |
දෙන්නෙද අවසරය කරනට ඔබෙ | හරිය |
අම්මා: | |
බුදු හිමි මලසුනට පරමල් වැඩල | වෙද |
මන්දාරමට හසු වූවද සරා | සඳ |
නිවිලද පහන් හමලා සැඩ සුලන් | වැද |
බුදු පුතු හදෙහි කෙලෙසුන් රජ වෙලා | අද |
පුතු ඉපදුනු දවසෙ අහලා පුතුගෙ | ඉකි |
කන කැස්බෑව විය සිදුරෙන් අහස | දැකි |
සිවුරට පුදපු දා, කැස්බෑ රංචු | වකි |
දාහක් විතර සිදුරෙන් සක්වලම | දැකි |
සතර වරිගයක් නිවනට ගන්ට | කියා |
මගෙ රන් පුතු සසුනට පෙර දවසෙ | ගියා |
වරිගෙ නොහැකි නම් ඔබවත් කඳුළු | තියා |
නිවන් යන්න අපි එන්නම් ඔබව | සොයා |
ගෙදර අත්තිවාරමෙ සවියක් | නැත්තේ |
පුතුගෙ කුටියටයි එය හොඳහැටි | ඇත්තේ |
කවුද කෙලෙස් ඇම දී පුතු බා | ගත්තේ |
මරුවො දුවන් නොසිටා පන්සල | වත්තේ |
මෙබවෙහි පිනට පුතුගේ මව වෙන්න | පැති |
පෙර බවයන්හි කවුරුද අපි දන්නෙ | නැති |
සසරේ හැටිය හදුනාගමු සියලු | පැති |
උන්නා ඇතිය නවතිමු දැන් හොඳට | හැති |
මහණ පුතු: | |
දුන් ඒ ඔවා මම පිළිගමි | අම්මාගේ |
දැන් තේරිණි නොදැකපු මෝහය | මාගේ |
පිණ්ඩපාතෙ යමි මම බුදු හිමි | වාගේ |
ගන්න මවුනි,ඔබ වෙත හිමි පිඬු | බාගේ |
සොහොන
කාක බෝධියෙ පත් සුළං වැද වයයි මළ බෙර තුන් | යමේ |
මාල සහ මල් වඩම් කුමටද මිනී මල් පිපිලා | බිමේ |
පාරෙ සුදු වැලි,දෙපස සිට ගොක් කොළත් දෙන ගරු නැත | නිමේ |
ඈත ගමකින් අමුත්තෙක් එයි නොයන්නට නැවතත් | ගමේ |
පොලව යට සිව් රියන් කුටියක සදහටම නිදි සුව | පතා |
සතර කර මත දෝලියක වැඩමවයි සිත නැති මනු | සතා |
අහස් මාලිග තනා පල කිම අවසනට පැලවත් | නැතා |
සොහොන වත් කෝ අමුත්තෝ එති ඉදින් ඉඩ දිය යුතු | වෙතා |
පොළවෙ දුහුවිලි පහස හුරු නැති අයත් පස තුළ | ගොළුවුණේ |
සයන අදුනන් නැති අයත් මේ පුංචි කුටියේ | ඇලවුණේ |
වැලලියන් කිය කියා මැතිරූ සමහරුත් මෙහි | වැලලුණේ |
පාළුවක් නැහැ කනත්තට සැම තරාතිරයම | පැමිණුනේ |
මමය මගෙමය කිය කියා දැඩි ලෙසින් අල්ලාගත් | කයේ |
සාර අරගෙන කනත්තේ ගස් කොලන් වැඩෙනව දිව | රැයේ |
සුළං වැදි ඒ තුරු ලතා පත් වලින් අනියත බව | ගැයේ |
එතුරු පමණක් නොවේ ඉර සඳ සහ තරු ද දවසක | මියේ |
හිගන්නෙක් වැලලූ තැනක අද රජෙක් ඇවිදින් | සැතපුණේ |
සොහොන් කොත් බැඳවුයේ කුමටද තවකෙකුට ඉඩ | නැතිවුණේ |
අයියලා මල්ලිලා සොහොනේ එකම වලකට | කොටුඋණේ |
කනත්තට එන්නට කලින් තුබු ඉඩම් නඩු නෑ | විසඳුණේ |
අම්මගෙ වාසගම කෙටුනා කජු ගලක
අම්මා නැගිට්ටට තව නිදි | නැගෙනහිර |
බත් පත උයා කුකුළත් අඩලනට | පෙර |
මල්ලට කජු පොල්ල කටුවද | සිලිකවර |
යන්නේ අලුත් අරගෙන වැඩපලට | දුර |
සිලි සිලි කවර ඉරලා අත ඇඟිලි | බැඳ |
පොරවා දෙදන පහළට බැංකුවක | හිඳ |
ගල මත විසුරුවා අලු කජු තලන | සඳ |
විස කිරි මුහුණ සිඹිනට උඩ | පනිනවද |
තැලුවේ කජු උනත් හිත නිතරම | තැලිණි |
ඉඳ හිට ලෙලි සමඟ මද කටුවට | ඇමිණි |
කැඩුවා කියා අම්මට බැන ඒ | බැමිණි |
දුන්නේ පඩිය රුපියල් සියයක් | පමණි |
කජු මාළුවට උරුමය නැති ලිපක් | තුළ |
ලෙලි ඇවිලුනා අම්මා ගෙට ආව | කල |
උයලා බත් පතක් සහ මැල්ලුමක් | කොළ |
කිරි ඇලි ඇති අතින් කැව්වා උනා | කෙල |
පොල් අතු සෙවිලි යාලත්තේ මැටි | පැලක |
අම්මගෙ වාසගම කෙටුනා කජු | ගලක |
බත් පත සැදූ දුප්පත් පොඩි | පැල්පතක |
පින් බිම මෙයයි එය මට විතරද | මතක |
ගිරා පුතේ
ඉන්න බැහැ කියා අතු සතරේ බිලිං | ගසේ |
යන්නෙ කොහොම නුඹ ගිරවුන්ගේ සිනා | ඇසේ |
කන්න බැරි උනත් ඉවසන් ඔය ඇඹුල් | රසේ |
එන්න නම් එපා යළි දහසක් පැතුම් | නැසේ |
ගොළු වෙලා කිමද? ඉපදී නුඹ ගිරා | කුලේ |
ඔලු නමා එපා ඉන්නට දොඩවනා | රැලේ |
තලු මරා උඹත් කාපන් ඒ බිලින් | පලේ |
දළු ලලා නොදිරු බෙනයට යමු අපිත් | කැලේ |
අතු මතින් ඉහල අත්තට යන රටා | බලා |
සිතු ලෙසින් බැයිද නුඹ හට කිමද | නැවතිලා |
රතු පැහෙන් දිලෙන මාලය ගෙලේ | පළදලා |
පැතු ලෙසින් ගිරව් ඉගිලී උඹව | තනිකලා |
වටු සියොත් රඟන රන්වන් කරල් බර | කෙතේ |
අටු පිටින් කඩන් එන්නට අපෙත් හිත | ඇතේ |
තටු සලන්න බැහැ සවියක් නැහැ | පියාපතේ |
ඉටු කරන් උඹේ යුතුකම මගෙ ගිරා | පුතේ |
Subscribe to:
Posts (Atom)