අව පසළොස්වක අටවක කලු බිඳ පුරසඳ පායා වෙසක් | දිනේ |
බෝ පත් අතරින් එළිය පෙරෙන තැන පැදුරක හිඳ වැලි මළුව | කොනේ |
පින්බර මුහුනැති අත්තම්මෙක් අද නවගුණ වැල ගණිනවා | පෙනේ |
පුර අව දෙපසම සඳට උරුම බව දැන් දැන් මට වැටහේය | අනේ |
පුන්සඳ තරු දස දහසක් මැඩගෙන එළිය කරන රඟ පොළෝ | තලේ |
මන්දාරම් වැහි වළාකුලක් විත් සැණෙකින් බිඳිනා අරුම | බලේ |
කම් පල විස්වාසය ගිලිහෙන ලොව අතලොස්සක් දෙන තරුණ | කැළේ |
රන් තුණු ජවය ද මරු ට යටත් බව තේරුම් ගෙන දහමටම | ඇලේ |
අමාවකට නුබුරන නරි කැළ ඇයි පසළොස්වක දා | බුරලන්නේ |
සක්දෙවි සලකුණු කල හා රූපය නැතිවද සතුනේ | දිරවන්නේ |
"සස දා" සැක සමහර වියතුන් වෙති බොදු බව පමණයි | උප්පැන්නේ |
සඳ මත මන්දිර තනනා සැලසුම් ඇති විදැදුරු සරණය | ගන්නේ |
සඳේ එළිය යට තොරණ ලෙළෙන විට සුරපුරයක සලකුණු | ඇත්තේ |
සඳට ඉහළ දෙව්පුරයක ඉපදෙන එවන් පිනක අරමුණ | මත්තේ |
පිළිවෙත ආමිසයෙන් පැරදුණු දා දහම දරයි අනියත | සත්තේ |
තෙමගුළ සමරන්නට සඳ ආවත් හෙට බොදු සව්වෙක් මෙහි | නැත්තේ |
Tuesday, May 17, 2016
වෙසක් සඳ
Labels:
කවි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment