Tuesday, May 17, 2016

දුවන මුවන්



මායිම්කොයිද අහසින් වට වෙලා...........නිති
ඒ මුඩු කතර වැලි පමණය කිසිත්...............නැති
රෑ හිම, දවල් ගිනි පුලිගුය බිමෙහි................ඇති
නෑ වැහි වලාවක් වත් මෙහි පෙනෙන...........පැති



පිහිටයි කෙම් බිමක් පසෙකින් දිය.........පිරුණු
මග නම් ඇරී ඇත ඒ දෙසටම.................හැරුණු
දූවිලි පටල වැසුවොත් දොරටුව...............ඇරුණු
යළි එහි පහස විදිනට කලකට.................නුහුණු


නිරතුරු මුවෝ දිව යති හැල්මේ.............කතර
කොතැනක ඇරබුවද තරගය පය................සතර
දන්නා එක මුවෙකුවත් නැත මේ................අතර
හති වැටුනාට එක සතෙකුත් නැත.............වැතිර


දහවල පිළිස්සෙන සම ගිනියම්..............අව්ව
රෑ යම සීතලය ගිම මදකට.......................නිව්ව
නැත නැවතුමක් මුවනට සැමවිට................දිව්ව
වැලි කැට සමය කදුලැලි කතරම................බිව්ව


වැඩි වී පිපාසය සිදිලා ලේ....................නහර
මුව රැළ සොයති කොයිදැයි දියවර.............කතර
ළඟ ළඟ මවයි දිය කඳ මිරිගුව..................නිතර
ලොබ බැද දුවති එය පසුපස නොව............නතර


කුර ගෙවුනාට කම් නැත දියවර.............අන්න
සැමටම පළමු දුවලා මිරිගුව.................බොන්න
අන් ඇති මුවන් කොලහල අරඹා............මෙන්න
මුග රැළ වග වලස් රෑනක් වී....................වැන්න


අතැඹුල ලෙසින් මුව පිරිසක්...............අතරමඟ
වැටහී මිරිඟුවක දියවර...................නොමැති වග
නුවණැති ඇසට පෙනිලා කෙම්.............බිමට මඟ
පියමන් කරති හෙමිහිට නැත...............කිසිම දඟ

"
අත ළඟ පෙනෙන දියවර අතහැර..........දමන
කෙම් බිම කියා මායාවක් මෙහි..............සොයන"
අන් ඇති මුවෝ සිනහෙති ගෙන මෙම.......කරුණ
ඇත්තක් කියා මිරිඟුව වෙත තව.................දුවන


නතරව මුවන් සුළු පිරිසක්...............දෙමන්සල
ළතවෙයි කොයිබදද නිවැරදි ...............ගිමන්හල
හරි මඟ ගිහින් මඟකදි එය..................අතින් හල
තව පිරිසකුත් මිරිඟුවටම....................ගමන් කල


පින ඇති මුවෝ කෙම් බිම වෙත...සපැමිනෙති
දියවර සපිරි පොකුණෙහි බැස..........දිය කෙළිති
පවසම නිවා ගෙන පොකුණෙන්.......ගොඩට එති
ගමනට තිත තබා සැනසිලි.................සුව විදිති


No comments:

Post a Comment