සුදු රෙද්දකින් සැරසී,පුතු වසන | තම |
පන්සල වෙතට අවුදින් වී පිනට | පෙම |
අල්ලා ඉදල් මිට දරදඩු අතට | සම |
බෝ පත් අතු ගගා පොල් අතු වනයි | බිම |
අම්මා ඇමදු සුදු වැලි ඇති ඒ | පාර |
සක්මන් කළා පොඩි නම බොහො බොහො | වාර |
"අම්මේ" කියා දී ඇගෙ කන වෙත | මීර |
දැම්මා මවගෙ පින් පැලයට හිමි | පෝර |
මහණ පුතු: | |
අම්මා හරිම මහලුයි වැඩපල | බැරිය |
ඉන්නේ ඔහොම,හින්දා හිත තුල | විරිය |
එන්නම් ,වෙලා හීරළු, අරගෙන | බිරිය |
දෙන්නෙද අවසරය කරනට ඔබෙ | හරිය |
අම්මා: | |
බුදු හිමි මලසුනට පරමල් වැඩල | වෙද |
මන්දාරමට හසු වූවද සරා | සඳ |
නිවිලද පහන් හමලා සැඩ සුලන් | වැද |
බුදු පුතු හදෙහි කෙලෙසුන් රජ වෙලා | අද |
පුතු ඉපදුනු දවසෙ අහලා පුතුගෙ | ඉකි |
කන කැස්බෑව විය සිදුරෙන් අහස | දැකි |
සිවුරට පුදපු දා, කැස්බෑ රංචු | වකි |
දාහක් විතර සිදුරෙන් සක්වලම | දැකි |
සතර වරිගයක් නිවනට ගන්ට | කියා |
මගෙ රන් පුතු සසුනට පෙර දවසෙ | ගියා |
වරිගෙ නොහැකි නම් ඔබවත් කඳුළු | තියා |
නිවන් යන්න අපි එන්නම් ඔබව | සොයා |
ගෙදර අත්තිවාරමෙ සවියක් | නැත්තේ |
පුතුගෙ කුටියටයි එය හොඳහැටි | ඇත්තේ |
කවුද කෙලෙස් ඇම දී පුතු බා | ගත්තේ |
මරුවො දුවන් නොසිටා පන්සල | වත්තේ |
මෙබවෙහි පිනට පුතුගේ මව වෙන්න | පැති |
පෙර බවයන්හි කවුරුද අපි දන්නෙ | නැති |
සසරේ හැටිය හදුනාගමු සියලු | පැති |
උන්නා ඇතිය නවතිමු දැන් හොඳට | හැති |
මහණ පුතු: | |
දුන් ඒ ඔවා මම පිළිගමි | අම්මාගේ |
දැන් තේරිණි නොදැකපු මෝහය | මාගේ |
පිණ්ඩපාතෙ යමි මම බුදු හිමි | වාගේ |
ගන්න මවුනි,ඔබ වෙත හිමි පිඬු | බාගේ |
Tuesday, May 17, 2016
මව සහ මහණ පුතු
Labels:
කවි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment