කාක බෝධියෙ පත් සුළං වැද වයයි මළ බෙර තුන් | යමේ |
මාල සහ මල් වඩම් කුමටද මිනී මල් පිපිලා | බිමේ |
පාරෙ සුදු වැලි,දෙපස සිට ගොක් කොළත් දෙන ගරු නැත | නිමේ |
ඈත ගමකින් අමුත්තෙක් එයි නොයන්නට නැවතත් | ගමේ |
පොලව යට සිව් රියන් කුටියක සදහටම නිදි සුව | පතා |
සතර කර මත දෝලියක වැඩමවයි සිත නැති මනු | සතා |
අහස් මාලිග තනා පල කිම අවසනට පැලවත් | නැතා |
සොහොන වත් කෝ අමුත්තෝ එති ඉදින් ඉඩ දිය යුතු | වෙතා |
පොළවෙ දුහුවිලි පහස හුරු නැති අයත් පස තුළ | ගොළුවුණේ |
සයන අදුනන් නැති අයත් මේ පුංචි කුටියේ | ඇලවුණේ |
වැලලියන් කිය කියා මැතිරූ සමහරුත් මෙහි | වැලලුණේ |
පාළුවක් නැහැ කනත්තට සැම තරාතිරයම | පැමිණුනේ |
මමය මගෙමය කිය කියා දැඩි ලෙසින් අල්ලාගත් | කයේ |
සාර අරගෙන කනත්තේ ගස් කොලන් වැඩෙනව දිව | රැයේ |
සුළං වැදි ඒ තුරු ලතා පත් වලින් අනියත බව | ගැයේ |
එතුරු පමණක් නොවේ ඉර සඳ සහ තරු ද දවසක | මියේ |
හිගන්නෙක් වැලලූ තැනක අද රජෙක් ඇවිදින් | සැතපුණේ |
සොහොන් කොත් බැඳවුයේ කුමටද තවකෙකුට ඉඩ | නැතිවුණේ |
අයියලා මල්ලිලා සොහොනේ එකම වලකට | කොටුඋණේ |
කනත්තට එන්නට කලින් තුබු ඉඩම් නඩු නෑ | විසඳුණේ |
Tuesday, May 17, 2016
සොහොන
Labels:
කවි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment